විස්කි බෝතල් 2000ක්.

Justice

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස ගබඩා කොට තිබූ රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් විස්කි බෝතල් 2,000කට ආසන්න සංඛ්‍යාවක් අස්ථානගත කළැයි කියන සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් එම අධිකරණයේ හිටපු නඩු භාණ්ඩ භාරකරු ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (03) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ කළුතර පදිංචි ගැමුණු සම්පත් කුමාර නමැති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ හිටපු ප්‍රධාන නඩු භාණ්ඩ භාරකරුය.

සුරාබදු දෙපාර්තමේන්තුව ඉකුත් 2015 වසරේ සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් විදේශීය මත්පැන් බෝතල් 3,505ක් සම්බන්ධයෙන් වන නඩුවකට අදාළව සැකකරුවන් වරදකරුවන් කර නඩුව අවසන් කර ඇති බවත් එම නඩුවට අදාළ නඩු භාණ්ඩ වන විදේශීය මත්පැන් තොගය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ තැන්පත් කර තිබූ බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

එම නඩුවේ චුදිතයන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක පහ අධිකරණයෙන් ලබා දුන් අදාළ නියෝගයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේත් අභියාචනාධිකරණය හමුවේත් අයැදුම්පත් යොමු කර තිබූ බවත් එම ඉහළ අධිකරණ දෙකෙන්ම මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය ස්ථිර කර තිබූ බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

ඒ අනුව අදාළ නියෝග ඉහළ අධිකරණවල සිට පහළ අධිකරණය තෙක් පැමිණ නඩු ගොනුවට ඇතුළත් විය යුතු නමුත් එම ක්‍රියාවලිය නිසියාකාරව සිදුවී නැති බැවින් අදාළ නඩු භාණ්ඩ විනාශ කිරීම හෝ රාජසන්තක කිරීමට අදාළව මහේස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කර නොතිබුණු බව ද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

පසුව සොයා බැලීමේදී අදාළ නඩු වාර්තාව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 05 අධිකරණයෙන් අස්ථානගතවී තිබූ බවට කරුණු අනාවරණය වූ බවත් පසුව සොයා බැලීමේදී එම නඩු ගොනුව 2023 වසරේ ඔක්තෝබර් මාසයේදී නඩු භාණ්ඩ කාමරයේ කබඩ් එකක් තුළ තිබී සොයාගත් බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කළේය. එම නඩු ගොනුව පරීක්ෂා කිරීමේදී එම නඩු ගොනුවට ඇතුළත්විය යුතු ඉහළ අධිකරණවලින් ලද නියෝගය මෙම සැකකරු සිය අත්සන යොදා භාරගෙන ඊට ඇතුළත් කර ඇති බවත් එම ලේඛනය භාර ගැනීමට මෙම සැකකරුට කිසිසේත්ම අවශ්‍යතාවක් නැති කාරණයක් බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඉකුත් 2019 වසරේ පෙබරවාරි මස දිනකදී එවකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයක (ගුහාවේ) ඇතුළත ගබඩාවක තැනින් තැන විසිරී තිබූ මෙම විදේශීය විස්කි මත්පැන් බෝතල් එම ගබඩාව තුළම රඳවා එම ස්ථානය සීල් තබා ඇති බවත් එම අවස්ථාවට මෙම සැකකාර නඩු භාණ්ඩ භාරකරු මෙන්ම අධිකරණ නිලධාරීන් ද සහභාගි වී ඇති බවටත් කරුණු හෙළිවී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ඉකුත් 2023 වසරේ අවස්ථා දෙකකදී නඩු භාණ්ඩ කාමරය කිසිවකු විසින් බිඳ තිබූ අතර එහිදී එම නඩු භාණ්ඩ කාමරයේ තිබූ රුපියල් කෝටි ගණන් වටිනා භාණ්ඩ කිසිවක් හෝ සොරාගෙන ගොස් නොතිබූ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී සීල් තබා තිබූ නඩු භාණ්ඩ කාමරය විමර්ශන නිලධාරීන් විසින් කඩා බැලීමේදී ඒ තුළ තිබූ විස්කි බෝතල් 1994ක් අස්ථානගත වී තිබූ බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා සැකකාර හිටපු නඩු භාණ්ඩ භාරකරු පොලිසියට කැඳවා ප්‍රකාශ සටහන් කර ඇනීමෙන් පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු සඳහන් කළේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කරමින් සැකකරු ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *