මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණ කරනු ලැබුවේ රට ගැන සිතමින් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති, ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේය.
මේ තීරණය ගැනීමේදී පක්ෂයේ සියලු කණ්ඩායම් සමඟ පැය හතරකට වැඩි කාලයක් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් පක්ෂයේ අනන්‍යතාව රැක ගනිමින් ජනාධිපතිවරයාට සහාය දීමට සියලුදෙනා එකඟතාවට පැමිණි බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
පක්ෂයේ විද්වත් කමිටුවක් මඟින් සකස් කළ යෝජනා මාලාවක් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කළ බවත් සිය ප්‍රතිපත්ති ප්රකාශනය සකස් කිරීමේදී ඒ සම්බන්ධයෙන් දැඩි සැලකිල්ල යොමු කරන බව ජනාධිපතිවරයා සඳහන් කළ බවත් ඇමැතිවරයා කීවේය.
පක්ෂයේ දේශපාලන මණ්ඩලය, විධායක සභාව සහ දිස්ත්‍රික් ආසන සංවිධායකයන්ගේ ඒකමතික එකඟතාව ජනාධිපතිවරයාට සහාය දීමේ තීන්දුව ගත් බව ද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මාධ්‍යයට අදහස් දක්වමින් පෙරේදා (31) කීවේය.
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතුව ලක්ෂ දාහතක ඡන්ද සංඛ්‍යාවක් තිබූ අතර එම ඡන්ද සංඛ්‍යාව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්රහණයේදී තීරණාත්මක සාධකයක් වූ බව කී ඒ මහතා, එම ඡන්ද සංඛ්‍යාව මෙවර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ද ලැබෙනු ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ ඡන්ද තීරණාත්මක සාධකයක් වනු ඇති බවත් කීවේය.