නාවික සහ ගුවන් ගමන් වලට පිලිපීන රටෙන් මෙරටට අතහිත

නාවික සහ ගුවන් ගමන් වලට පිලිපීන රටෙන් මෙරටට අතහිත

මෙරට ඉදිරි නාවික හා ගුවන්සේවා කටයුතු සඳහා පුළුල් සහයෝගීතාවක් දීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකාවේ පිලිපීන තානාපති ලියෝ ටිටෝ ඕසන් මහතා පවසයි.

තානාපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (20) පෙරවරුවේ වරාය, නාවික හා ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා හමු වූ අවස්ථාවේදීය. ඇමැති කාර්යාලයේදී පැවති මේ හමුවේදී තානාපතිවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ පිලිපීන ජාතික සංචාරකයන් විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවත්, එනිසා වසර ගණනාවකට පෙර නැවතුණු පිලිපීනයේ මැනිලා නුවර සිට කටුනායක දක්වා පැමිණි සෘජු ගුවන් සේවාව නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා බවත්ය.

මෙහිදී ඇමැතිවරයා මේ සෘජු ගුවන් සේවාව ආරම්භ කිරීමට අවශ්‍ය අනුමැතිය කඩිනමින් දීමට පියවර ගන්නා ලෙසත්, ඒ සඳහා ගිවිසුම් අත්සන් කිරීමට කටයුතු සලසන ලෙසත්, සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් සාගර කොටකදෙනිය මහතාට උපදෙස් දුන්නේය.

මුළු ලෝකයේම නාවික ක්ෂේත්‍රයේ ප්‍රබල ස්ථානයක පසුවන පිලිපීනය විසින් ශ්‍රී ලාංකික නාවිකයන් පුහුණු කිරීමට නාවීන තාක්ෂණයෙන් යුතු පුහුණු පාසලක් ආරම්භ කිරීමට කැමැත්ත පළ කර සිටින බව ද තානාපතිවරයා මෙහිදී පැවැසීය.

මේ සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන මහපොළ සමුද්‍රීය විද්‍යායතනය සමඟ ඒකාබද්ධ වැඩපිළිවෙළක් සැකසීමට කටයුතු කරන බවත්, පිලිපීන රජය විසින් ශ්‍රී ලංකාවට විවිධ අවස්ථාවලදී දුන් සහායන් අගයන බවත් ඇමැතිවරයා පැවැසීය.

මේ අවස්ථාවට පිලිපීනයේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් හියු ශ්‍රියාල් දිසානායක මහතා සහ පිලිපීන නියෝජ්‍ය කොන්සල් ජෙනරල් මාරියා ටාන්යා මහත්මිය ද සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *