නන්නත්තාර වෙන්න යන නමවෙනිදා.

nannaththara wenna yana namawenida

වැටුප රුපියල් 20,000කින් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රාජ්‍ය සේවයේ වෘත්තිය සමිති රැසක් අනිද්දා සහ 9 වනදා, ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබෙනවා. මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය සඳහා ගුරු, තැපැල් ඇතුලු රාජ්‍ය සේවයේ අංශ රැසක් එක්වන බවයි රාජ්‍ය සේවා වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ධම්මික මුණසිංහ කියා සිටියේ.

පසුගිය සතියේ දෙදින ලෙඩ නිවාඩු දමා වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වූ ගුරු – විදුහල්පතිවරුන් ද එදින ලෙඩ නිවාඩු වාර්තා කර වර්ජනයක නිරතවන බවයි ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් ප්‍රකාශ කළේ. ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ද සදහන් කළේ, ගුරු – විදුහල්පතිවරුන් මෙම වර්ජන ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බවයි.

කෙසේ වෙතත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති සංජීව තෙන්නකෝන් සදහන් කළේ, මෙම වර්ජනයට සම්බන්ධ වන්නේද යන්න පිළිබදව මෙතෙක් තීරණය කර නොමැති බවයි. මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැකීමට මහනුවරට අද පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළා.

මේ අතර, වැටුප් වැඩි කරගැනීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමර්ගයට අදට දින 66ක් ගතවනවා. මෙවන් පසුබිමක අධ්‍යාපන අමාත්‍යාංශය වර්ජනයේ නිරත විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට ලිපියක් යොමු කර තිබුණේ අමාත්‍යාංශ ලේකම්වරියගේ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ අත්සනින් යුතුවයි. එහි දැක්වෙන්නේ මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට පාදක වී ඇති මාසික හිලව් දීමනාව ලබාදීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පෙනී සිටින බවයි.

නමුත් මෙම අවස්ථාවේදී අදාළ ඉල්ලීම සලකා බැලීම අපහසු බැවින් එම ඉල්ලීම් මීලඟ අයවැයේදී සලකා බැලීමට නියමිත බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

එමෙන්ම සේවක වර්ජනයට සම්බන්ධ වූ සියලු‍ම සේවක කොටස්වලට කිසිදු ආකාරයක දඬුවම් පැණවීමක් සිදු නොකරන බවද එම ලිපියේ දැක්වෙනවා.

මේ සම්බන්ධයෙන් වර්ජනයේ නිරත විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව ද, අදහස් පළ කළා.

එහි සම සභාපති මංගල දබරේරා අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සදහන් කළේ, මෙම ලිපිය සාධනීය වුවද ලබන සතියේ බලධාරීන් සමඟ පැවැත්වෙන සාකාච්ඡාවෙන් අනතුරුව වර්ජනය අත්හරින්නේ ද යන්න පිළිබදව තීරණය කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *