බොරු කයිවාරුවලින් ඡන්ද දිනිය හැකි වුවත් රටක් පාලනය කළ නොහැකි බව හිටපු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.එළඹෙන මැතිවරණයේදී කයිවාරු කාරයින් ජයග්‍රහණය කළහොත් රට යළිත් අර්බුදයක් කරා ගමන් ගන්නා බැවින් ජනතාව මේ අවස්ථාවේ වගකීමෙන් ඡන්දය පාවිච්චි කළ යුතුව ඇතැයි ද ඒ මහතා කීය.
මහනුවරදී ඊයේ (30 ) පැවැති වැඩ සටහනකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු ඇමැතිවරයා මේ බව පැවසුවේය.
රට ආර්ථික වශයෙන් ස්ථාවර කිරීමට වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය වසර දෙකක කාලයේදී ක්‍රියාත්මක කළ වැඩසටහන සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකි බව ද අමුණුගම මහතා ප්‍රකාශ කළේය.
“විවිධ පාර්ශව විසින් යම් යම් විවේචන එල්ල කළ ද ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩසටහන තාක්ෂණිකව ගත් කළ හොඳ මට්ටමක පවතින බව ද කී ඒ මහතා මෙසේද පැවසුවේය. මේ ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියේ යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් බංකොලොත් රටක් යන නාමයෙන් මිදුනොත් තමයි අපේ රටට වෙනත් රටවල මුදල් ආයෝජන ගලාගෙන එන්නේ.
ලෝකයේ වෙනත් රටවල් හා සසඳා බලනවිට මේ රටේ රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව ඉතා වැඩියි.ඒක රටට උහුලන්න බැහැ. අද මේ අය අතරින් බහුතරයක් දෙනා වැටුප් වැඩි කර ගැනීමට වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා. මේ නිසා රට අක්‍රීය වන ස්වරූපයක් පේන්න තිබෙනවා. මේ අවස්ථාවේ ගත යුතු හොඳම ක්‍රියාමාර්ගය තමයි ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය හා අනෙකුත් මැතිවරණ පවත්වා ස්ථාවර රජයක් හදන එක. හැබැයි රටේ ජනතාවට වගකීමක් තිබෙනවා රට ගොඩනඟන්න පුළුවන් කෙනෙක් පත් කරගන්න. එහෙම නැතුව බොරු කයිවාරු ගහන අයට රැවටිලා ඡන්දය දීලා නුසුදුසු කෙනෙක් පත් කළොත් එයාට වෙන්නෙත් ආණ්ඩුව දාලා පැනලා යන්නයි. කයිවාරු ගහලා ඡන්ද දිනන්න පුළුවන්. නමුත් ඊට පස්සේ රට පවත්වාගෙන යන එක තමයි කරන්න බැරි. පාර්ලිමේන්තුවේ එක ආසනයක් තිබුණු රනිල් වික්‍රමසිංහ කඩා වැටුණු රට ගොඩනැඟීමේ අභියෝගය බාර ගත්තා. යම්තාක් දුරට ඔහු අද රට ස්ථාවර කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාට නැවතත් ජනපති වෙන්න අවශ්‍ය නම් තමන්ගේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් රටේ ජනතාවට විශ්වාසයක් ඇති කරන්න ඕනේ. මේ වෙලාවේ රටේ දේශපාලනඥයෝ යථාවාදි විය යුතුයි. රට ගැන හිතලා වැඩ කළ යුතුයි.
හිටපු මුදල් අමාත්‍යවරයෙක් වශයෙන් මම එකක් කියන්නම ඕනේ. අද මේ රට වංචා දූෂණවලින් හොරකම් මැරකම්වලින් පිරිලා ඉතිරිලා ගිහිල්ලා තියෙන්නේ. ඉහළ සිට පහළටම විවිධාකාරයෙන් තමන්ට හැකි පමණින් වංචා දූෂණ කරනවා. මේ තත්ත්වය සීයට සීයක්ම නැති කර ගත්තේ නැත්නම් රට ගොඩගන්න බැහැ. මේ වංචා දූෂණ නැති කරන්න නම් ස්ථාවර රජයක් ඕනේ. අද මේ රටේ ජනතාව බදු බරින් මිරිකිලා දැඩි ආර්ථික සටනක නිරත වෙලා ඉන්නවා. රටේ ජනතාව මේ තත්ත්වයෙන් ගොඩ ගන්න නම් ස්ථාවර රජයක් එන්නම ඕනේ. එහෙම නැතුව මොනවා කළත් වැඩක් නැහැ.“