දිනනතුරු නොනවතින ටිල්වින්ගෙන් දඹුල්ලේදී කෙලින් කතාවක්

දිනනතුරු නොනවතින ටිල්වින්ගෙන් දඹුල්ලේදී කෙලින් කතාවක්

මාලිමාවේ පාලනයක් යටතේ ආණ්ඩුවට අත නොපා තමන්ගේ දෙපයින් නැගී සිටිය හැකි ආර්ථිකයක් ජනතාවට ලබා දෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ පසුගිය 13 දා දඹුල්ලේදී පැවති “පුනරුදයට රටම එකට” ජාතික ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මහා රැලිය අමතමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැකුවූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා,
“ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ජාතික ජන බලවේගයේ අපි රට පුරාම රැස්වීම් මාලාවක් පවත්වමින් යනවා. රනිල් වික්‍රමසිංහලා මොන උත්සාහ දැරුවත් ඔක්තෝබර් මාසයේ පළමුවැනි සතිය වන විට අපේ රටට අලුත් ජනාධිපතිවරයෙක් පත්කර ගන්න අවස්ථාව ලැබෙනවා. අපේ රටේ ජනතාව පාවා දුන් ප්‍රභූවරුන් ඉවත් කර, ජනතාවාදී පාලනයක් පිහිටුවන්න සූදානම් කියන පණිවිඩය රැගෙන ඔබ මෙතනට ඇවිත් සිටිනවා. සමහරු අපෙන් අහනවා 3%ක් තිබුණු අය ආණ්ඩු බලය ගන්නේ කොහොමද කියලා. වෙනදා වෙනත් පක්ෂවලට වැඩ කරපු බොහෝ දෙනෙක් අද මාලිමාව සමග අත්වැල් බැඳගෙන ඉන්න නිසයි අපිට ආණ්ඩුවක් පිහිටුවන්න හැකියාව තිබෙන්නේ. ඒ ජයග්‍රහණයේ නියමුවන් ඔබ සැමදෙනායි.
රනිල් වික්‍රමසිංහට, මහින්ද රාජපක්ෂට, සජිත් ප්‍රේමදාසට දිනන්න පුළුවන් නම්, ඡන්ද ඉක්මනින් පවත්වනවා. මේ වන විට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ජනතාව මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන අතර, මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාවත් ඒ ජයග්‍රහණයට ඉහළින්ම දායක වෙන්න රොද බැඳගෙන සිටිනවා. ජාතික ජන බලවේගයේ අපි වැඩකරන්නේ සැලසුම් සහගතව සංවිධාන ගොඩනඟමිනුයි. ඒ ඒ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් එකතුවෙලා රට ගොඩගැනීමේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරී වැඩපිළිවෙළ සකස් කරන අතරේ අපි ඒවා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය බිම් මට්ටමේ සංවිධාන හැටියට එන්.පී.පී. කොට්ඨාස සභා ගොඩනැඟුවා. මේ වන විට සෑම ග්‍රාමසේවා වසමකටම මැතිවරණය ඉලක්ක කරගත් මැතිවරණ මෙහෙයුම් කමිටු නිර්මාණය කරමින් යනවා. විවිධ විද්වත් වෘත්තිකයන් සංවිධානය කරමින් යන අතරේ විද්‍යාඥයන්ගේ සමුළුවක් මෑතකදී පැවැත්වූවා. වෘත්තිය මට්ටමේ බලවේග ඒකරාශී කරමින් යන අතරේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයත් විශ්‍රාමික පොලිස් සාමූහිකයත් අවසන් වශයෙන් මේ වන විට ගොඩනඟමින් යනවා. නිසි පරිදි නීතිය ක්‍රියාත්මක කරන්න පාලකයින්ගෙන් ඉඩ නොලැබුණු පොලීසියේ විශාල පිරිසක් ඒ වටා ඒකරාශී වී සිටිනවා.
රුසියාවේ වගේම අපේ රටේ ඔක්තෝබර් මාසය රට ගොඩනැඟීමේ ආරම්භය ගන්නා මාසය බවට පත්කර ගන්නවා. ජාතික ජන බලවේගයේ අපි මේ ආකාරයට ජනතාව සංවිධානය කරමින් යන අතරේ අනෙක් පක්ෂ රොඩුබොඩු එකතු කරමින් යනවා. රට වට්ටන්න දායක වුණු කිසිම දේශපාලනඥයෙක් ජාතික ජන බලවේගයට වද්දා ගන්නේ නැති බවට වන සහතිකය අපි ඔබට දෙනවා. ගිය පාර සජිත්ට බැන්න අය අද සජිත් එක්ක එකතු වෙනවා. අනෙක් පැත්තෙන් සජිත් ළඟ ඉන්න අය රනිල් ළඟට යන්න හදන අතරේ, රනිල් ළඟ ඉන්න අය සජිත් ළඟට යන්න හදනවා. අද පොහොට්ටුවක් ඉතිරි වෙලත් නැහැ. පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න දිරාපත්වූ දුෂ්ට බලවේග ඒ අය එකතු කරගෙන ඉන්නවා. සජිත්ට බැන බැන හිටපු ඩලස්ට පුළුවන් සජිත් ළඟට යන්න. රනිල්ට හොරා කියපු පොහොට්ටුවේ අයට පුළුවන් රනිල් ළඟට යන්න. කට්ටිය පහුගිය අවුරුදු දෙක තුනේ බිම් මට්ටමේ අපට විශාල දේශපාලන පාඩමක් උගන්වා තිබෙනවා. යූ.එන්.පී, ශ්‍රී ලංකා කියලා මෙතෙක් කල් බෙදී සිටියත් ඒ ඔක්කොම එකම දූෂිත දේශපාලන ප්‍රභූ පැළැන්තියේ අය බව ඒ කාලය තුළ ඔප්පු කර තිබෙනවා. රනිල්ගෙන් රට බේරා ගන්න ගෝඨාභය දිනවන්න ඕනෑ කී අය දැන් රාජපක්ෂලාව බේරා ගන්න රනිල්ට බාරදී තිබෙනවා. රනිල්ට රට බාරදෙන්නේ රට බේරා ගන්න නොවෙයි, රාජපක්ෂලාව බේරා ගන්නයි. මහින්ද රාජපක්ෂලා තමන්ට පාර්ලිමේන්තුවේ සිටිය විශ්වාසවන්තම කෙනා හැටියට රනිල් වික්‍රමසිංහට බලය ලබාදුන්නා. මේ කණ්ඩායම්වල සියලු දෙනාම එකම පිරිසක් බව ඔප්පු කර තිබෙනවා.
රනිල් වික්‍රමසිංහට රාජපක්ෂලා විසින් රට බාර දුන් 2022 අවුරුද්ද අවසන් වන විට සමස්ත රාජ්‍ය ණය ඩොලර් බිලියන 83ක් වී තිබුණා. දැන් සමස්ත රාජ්‍ය ණය ඩොලර් බිලියන 100 ඉක්මවා තිබෙනවා. ඉතිං ආරංචිය සුබයිද? ඒ අතරේ අපේ රටේ අක්කර 28,000ක් තිබෙන කිරි ගොවිපොළවල් ඇතුළු ඉතිරි වී තිබෙන සම්පත් ටික විකුණන්න යනවා, ඉතිං ආරංචිය සුබයිද? මේ සියලු අසුබ ආරංචි මැද්දේ අපිට පැහැදිලි සුබ ඉලක්කයක් තිබෙනවා. ඉදිරි ජනාධිපතිවරණයේදී මාලිමාවේ ජයග්‍රහණය ස්ථිරයි කියන සුබ ආරංචිය අපට ලැබී තිබෙනවා. රට වැට්ටූ රනිල් වික්‍රමසිංහලාට රට ගොඩනඟන්න පුළුවන්ද? ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා ජනාධිපති කරවන්න ඕනෑ තවත් ආණ්ඩුවක් හදා ගන්න නොවෙයි. අපිට අවශ්‍යව තිබෙන්නේ මුළු රටම දැවැන්ත පරිවර්තනයකට ලක්කරන්නයි. අනුර දිසානායක සහෝදරයා ජනාධිපති ලෙස දිවුරුම් දුන් විගසම මේ ජරාජීර්ණ පාර්ලිමේන්තුව විසුරුවා හැර නව මහජන මතයකට ඉඩ සලසා දෙනවා. ඒ මැතිවරණයෙන් ආසන 130 ඉක්මවූ ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගෙන රටට අවශ්‍ය වෙනස්කම් ක්‍රියාත්මක කරනවා. වැටිච්චි රට ගොඩනඟමින් රට වැට්ටූ දූෂිතයන්ට නීතියෙන් දඬුවම් ලබාදෙන්න කටයුතු කරනවා. ජනතාවට උඩින් ඉන්න මන්ත්‍රීවරුන්ගේ කැත දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා.
මේ දක්වා කළේ ලොකු වියදමක් දරා ඇමතිවරුන් ගෙන්වා මුල්ගල් තැබීමේ ව්‍යාපෘති කිරීමයි. පොඩි පාරක් විවෘත කරන්නත් ඇමතිවරුන් ගෙන්වනවා. අඩුම වශයෙන් පැල සිටුවීමේ ව්‍යාපෘතිවල පැල සිටුවන්න පුංචි වලක් කපන අතරේ තඩි කාපට් මතින් එන ඇමතිට පැල සිටුවන්න බහින්න තව ලොකු වලක් කපන්න සිදුවී තිබෙනවා. ආරක්ෂක අංශ පිරිවරා ගනිමින් බලය පෙන්වන සංස්කෘතිය අපි අහෝසි කරනවා. ධනය බලය පාවිච්චි කර, ජනතාවගේ ඡන්ද මංකොල්ලකෑ විෂම චක්‍රයේ දේශපාලනය අපි අවසන් කරනවා. ජනතාවගේ ඡන්දයෙන් පත්කරන මේ පාලකයන් විසින් ජනතාව දුප්පත්කමේ ගිල්වා තබන මේ ක්‍රමය මුළුමනින්ම අවසන් කරනවා. 1948 නිදහස ලබනකොට අපි ණය නැති රාජ්‍යයක්. පාලකයන් දිගින් දිගට ණය අරගෙන හොරාකෑම නිසා අද ණය ගෙවාගත නොහැකි වී බංකොලොත් රටක් ලෙසට වට්ටවා තිබෙනවා. ණය ආපසු ගෙවීමේ කාලය 2028 දක්වා කල්දමා එය සුබ ආරංචියක් බව ඔවුන් කියනවා. සිංගප්පූරුව, දකුණු කොරියාව, මැලේසියාව ඉස්සරහට යන කොට ලංකාවේ පාලකයන් අපේ රට පසුපසට ඇද දැම්මා. ඒ නිසා ජයග්‍රහණ අත්පත් කර ගන්නා පිම්මක් පනින්න ශ්‍රී ලාංකික ජනතාව සියලු දෙනා සුදානම් බව අපි ඔප්පු කරන්න ඕනෑ.
ආර්ථිකයේ, චින්තනයේ, අධ්‍යාපනයේ, සංස්කෘතියේ පුනරුදයක් ඇති කළ යුතුයි. අපේ රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන ආර්ථිකයක් බවට ගොඩනඟන බව අපි කියන කොට, රනිල් ඇතුළු පිරිසක් ඒකම කියනවා. අපේ ආර්ථිකයට සමස්ත ජනතාව සහභාගි කර ගන්නා සහ ජනතාව වෙත එහි ප්‍රතිලාභ ගලායාමේ ක්‍රියාකාරී සැලසුමක් සකස් කර තිබෙනවා. අපි ගොඩනඟන්නේ ජන සහභාගිත්ව ආර්ථිකයක්. ඒ ආර්ථිකයේ ප්‍රතිලාභ පවුල් කිහිපයකට නොවෙයි, සමස්ත ජනතාවට ගලා යාමේ යාන්ත්‍රණයක් සකස් කරනවා. මාතලේ දිස්ත්‍රික්කයේ කෘෂි කර්මාන්තයේ යෙදී සිටින ගොවියන් දුප්පත් වී දඹුල්ලේ සිටින ව්‍යාපාරිකයන් පොහොසත් වන ආර්ථිකය නිමා කරමින් සියලු දෙනාට සාධාරණ ප්‍රතිලාභ ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරනවා. ඒ වෙනුවෙන් සුදුසු අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක කර, දරුවන් මත පටවා තිබෙන පීඩනය ඉවත් කරනවා. දැන් සිදු කරන්නේ මහජන මුදල් හොරා කා ඒ හොරා කෑ ධනයෙන් සොච්චමක් යොදවා හාල් කිලෝ පහක් දුන්නාම ඒක ගන්න ජනතාව හොරාට වැඳලත් යනවා. ඉතාම කනගාටුදායක මේ ක්‍රමය වෙනස් කරනවා. දුප්පත්කම පවත්වාගෙන යන්න සහන දෙනවා වෙනුවට අපේ පාලනයක් යටතේ දෙපයින් නැගී සිටින්න ක්‍රමයක් සකස් කර දෙනවා. ආණ්ඩුවට අත නොපා තමන්ගේ ධෛර්යයෙන්, තමන්ගේ ශ්‍රමයෙන්, තමන්ගේ දෙපයින් නැගී සිටිය හැකි ආර්ථික ක්‍රමයක් සකස් කර දෙනවා. නමුත් දුප්පත්කම අවසන් කරන තුරු සහන ලබාදිය යුතු සියලු දෙනාට සහන ලබාදීම තහවුරු කරනවා. ඉතා ඉක්මනින් දුප්පත්කම තුරන් කර, මාලිමාවේ ආණ්ඩුවක් යටතේ සතුටින් සිටින මහජනතාවක් නිර්මාණය කරනවා.
අපට තිබෙන්නේ පොඩි වැඩක් නොවෙයි; අවුරුදු 76ක ශාපකාරී විනාශකාරී දේශපාලන මාර්ගය වෙනස් කිරීමයි. මේ වේදිකාවේ ඉන්නේ ඒ වෙනුවෙන් කැපකිරීම් කරන්න පැමිණි අය මිස කිසිවක් ලබාගන්න ආ අය නොවෙයි. මීට වඩා හොඳ ජීවිතයක්, ලස්සන ජීවිතයක් අපට ඕනෑ. කාන්තාවන්ටත් දරුවන්ටත් බයක් නැතිව නිදහසේ ජීවත් විය හැකි, ආදරය, ගෞරවය සහ ආරක්ෂාව තිබෙන රටක් අපි ගොඩනගා ගන්න ඕනෑ. මිනිසුන් එකිනෙකාට ආදරය කරන ආදරයෙන් පිරුණු රටක් අපි ගොඩනඟන්න ඕනෑ. හැම කෙනාටම මනුෂ්‍යත්වයෙන් සලකන රටක් අපි ගොඩනගන්න ඕනෑ. මෙතෙක් අප සමග අත්වැල් බැඳ නොගත් සියලු දෙනාට මේ පණිවිඩය ලබාදී දැනුවත් කර, ජාති, ආගම්, බේද නැති එකම රටක් ගොඩනඟන්න අපි හැම දෙනාම අත්වැල් බැඳ ගනිමු. මේ ජනාධිපතිවරණයෙන් උතුමාණෝ කියලා කියන්න ඕන නැති අපේ සහෝදරයෙක් ජනාධිපති කරලා, අපේම පාර්ලිමේන්තුවක් ගොඩනඟලා අපේ රට ගොඩනගමු. ඉතිහාසය අලුතින් ලියන පරම්පරාව අපි. අපේ කාර්යය අපි ඉටුකරනවා. අපේ ජීවිත කාලයේදී මේ රට ගොඩනගමු. ඒ වෙනුවෙන් සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *