මෙවර ජනාධිපතිවරණයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණේ සහයෝගය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (01) තීරණය කළේය.
මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර මෙවර ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමේ යෝජනාව එහිදී වැඩි ඡන්දයෙන් සම්මත විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සන්ධානගතව ඉකුත් මහ මැතිවරණයට ඉදිරිපත් වූ මහජන එක්සත් පෙරමුණට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර තුනක් හිමි විය. කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත් වූ වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත් වූ වත්මන් රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සහ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වූ යදාමිණී ගුණවර්ධන මහතා ඒ අතර වෙති.