ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළ නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇප මත මුදා හරිනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය ලබන අගෝස්තු මස 09 වැනිදා ප්‍රකාශ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (30) තීරණය කළේය.
අදාළ නියෝගය ලබන මස 01 වැනිදා ප්‍රකාශ කිරීමට මීට පෙර තීරණය කර තිබුණි.
හිටපු ඇමැතිවරයා රිමාන්ඩ් භාරයට පත් කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය ලබා දුන් නියෝගය අභියෝගයට ලක් කරමින් ගොනු කළ රිට් පෙත්සමක් කරුණු පැහැදිලි කර ගැනීම සඳහා ඊයේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී මේ බව තීරණය කරන ලදි.
අදාළ පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය ද එදින ප්‍රකාශ කිරීමට නියම විය.
ප්‍රශ්නගත හියුමන් ඉමියුනොග්ලොබියුලීන් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව නඩු විභාගය අවසන් වන තෙක් තමන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය ලබා දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු ඇමැතිවරයා විසින් මේ රිට් පෙත්සම ගොනු කර තිබුණි.
මේ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය, එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ,නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර සිටිති.
පෙත්සම්කරු සඳහන් කර සිටින්නේ ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව රහස් පොලිසියට කට උත්තරයක් ලබාදීමට ගිය තමා අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය කටයුතු කළ බවයි.
අනතුරුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු තමන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළ බව පෙත්සම්කරු කියයි.
එකී නියෝගයට එරෙහිව ඇප ඉල්ලීමක් එම අධිකරණයට ගොනු කළ අතර ඉකුත් මාර්තු මස 13 වැනිදා එම නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ප්‍රකාශ කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය මේ නඩුව අවසන් වන තෙක් තමන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළ බව පෙත්සමේ සඳහන් වේ.
පොදු දේපළ පනත යටතේ ගොනු කළ නඩුවකට අදාළව සැකකරුවකුට එම නඩුව අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවට පෙත්සම මඟින් කරුණු ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව තමන් අදාළ නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය ලබාදුන් නියෝගය නීතියට පටහැණි සහ අසාධාරණ ,අයුක්ති සහගත නියෝගයක් බවට පෙත්සම මඟින් පෙන්වා දී තිබේ.
පොදු දේපළ පනතේ අදාළ නඩුව පවත්වාගෙන යාම සඳහා සහකාර පොලිස් අධිකාරීවරයා විසින් සහතික පත්‍රයක් ඉදිරිපත් කළ බවද එය නීති විරෝධී බවද පෙත්සම්කරු සඳහන් කර සිටී.
එබැවින් තමා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරිය ලබාදුන් නියෝගය සහ පොදු දේපළ පනතේ නඩුව පවත්වාගෙන යෑමට සහකාර පොලිස් අධිකාරිවරයා ඉදිරිපත් කළ සහතිකය බල රහිත කරන ලෙස ද පෙත්සම්කරු අධිකරණයෙන් තවදුරටත් ඉල්ලා සිටී.
ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාපා, නීතීඥ කීර්ති තිලකරත්න,මෙහෙරාන් කරීම් යන නීතිවේදීහූ පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියහ. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියාය.