ආයූදයක් ලග තබා ගත් සුද්දා කොටු : දකුනේ පතාලයෙන් ඇසෙන ඇඟ කිලිපොලා යන කතාව
පාතාලයේ වෙඩි තැබීම්වල කිසියම් අඩු වීමක් දක්නට ඇතත්, අහුන්ගල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පාර්ශ්ව දෙකක් අතර ඇති වී තිබෙන උනුන් මරා ගැනීම් තවමත් නිමා වී නැති සැටියෙකි.
ඒ බව අනාවරණය වන්නේ මිනිස් ඝාතන දෙකක් සිදු කිරීම සඳහා බළපිටිය, වතුගෙදරට පැමිණි තුවක්කුකරුවකු අත්අඩංගුවට ගෙන කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදීය. ඔහු මීට පෙරද මිනිස් ඝාතන දෙකක් සිදු කළ වෙඩික්කරුවෙකි.
මොහු පොලිසියට හසු නොවූයේ නම් තවත් මිනිස් ඝාතන දෙකක් සිදු කිරීමට ඉඩ තිබූ බව විමර්ශන නිලධාරීහු කියති. ඉන් එක් මිනිස් ඝාතනයක් ඉකුත් සෙනසුරාදා සිදු කිරීමට සූදානම්ව සිටි බව ඔහු ප්‍රකාශ කර ඇති අතර අනෙක් පුද්ගලයා වෙඩි තබා මරා දැමීමටද ඔහු සැලසුම් සකස් කර තිබූ බවත් ප්‍රශ්න කිරීමේදී හෙළි වී තිබේ.
මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය දිවයිනේ වැළලී ගිය අපරාධ සහ සිදුවන මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ස්ථාපිත ඒකකයකි. මෙම කොට්ඨාසය භාර අධ්යක්ෂවරයා ලෙස රාජකාරි කරනුයේ ජේයෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙණිය මහතාය.
දකුණු පළාතේ සිදු වූ වෙඩි තැබීම් සහ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් මෙම කොට්ඨාසයේ නිලධාරීහු ඉකුත්දා දකුණු පළාතට ගොස් ආවේක්ෂණ රාජකාරියේ යෙදී සිටියහ. ඒ අත්අඩංගුවට ගත් අපරාධකරුවන් සහ සැඟව සිටින පාතාල අපරාධකරුවන්ගේ දුරකථන විශ්ලේෂණ වාර්තා සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයකින් පසුවය.
මෙලෙස බළපිටිය, කොස්ගොඩ, අහුන්ගල්ල යන ප්‍රදේශවල ආවේක්ෂණ රාජකාරිවල යෙදී සිටි මෙම කණ්ඩායමේ උප පොලිස් පරීක්ෂක සම්පත්ට පසුගියදා රහසිගත තොරතුරක් ලැබුණේය. ඒ, අහුන්ගල්ල ප්‍රදේශයේ මිනිස් ඝාතනයක් සිදු කිරීම සඳහා සුද්දා නමැත්තකු ගමට පැමිණ සිටින බව කියමිනි. ලැබුණු තොරතුරු සිය ප්‍රධානීන්ට දැනුම් දුන් සම්පත් ඇතුළු කණ්ඩායම බළපිටිය, වතුගෙදර ආදී ප්‍රදේශවල සැරිසරමින් සුද්දා නමැත්තා සම්බන්ධයෙන් කරුණු සොයන්නට වෙහෙසුණහ.
“මූ, මීට කලිනුත් මර්ඩර් දෙකක් ගහපු එකෙක්. තවත් එකෙක්ට ගහන්න තමයි මූ ගමට ඇවිල්ලා ඉන්නේ. මූ හැම තිස්සේම වෙපන් එක ලෝඩ් කරගෙනමයි ඉන්නේ. පාරේ යනකොටත් වෙපන් එක ඉණේ ගහගෙනමයි යන්නේ” ලැබුණු තොරතුරෙන් එලෙස කියැවිණි. ඒ අනුව සිය ආවේක්ෂණ රාජකාරි පුළුල් කළ උප පරීක්ෂක සම්පත් ඇතුළු කණ්ඩායම ඉකුත්දා එම වෙඩික්කරු බළපිටිය, වතුගෙදර, අරගහතොට සිය නිවෙසේදීම අත්අඩංගුවට ගනු ලැබිණි.
නිලධාරීන් ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූයේ ‘සුද්දා’ යන නමට අමතරව ඔහු ‘අලහොද්දා’ නමින්ද හඳුන්වන බවකි. අලහොද්දා යනු පාසල් සමයේ මිතුරන් ඔහු ආමන්ත්‍රණය කළ අන්වර්ථ නාමයකි.
ලැබුණු ‘ඔත්තුව‘ සාර්ථක බව නිලධාරීන්ට වැටහිණි. ඒ, සුද්දා අල්ලාගත් සැණින් නිලධාරීන් ඔහුගේ ඉණ සෝදිසි කිරීම නිසාය. ඔහු ඒ වන විටත් සිටියේ රිවෝලර්වරය ඉණේ සඟවාගෙනය. එය ඒ මොහොතේද ලෝඩ් කර තිබිණි. ඔහු සතුව එම අවියට යොදන ජීව උණ්ඩ 7ක්ද තිබී සොයා ගැනිණි.
විමර්ශන නිලධාරීහු ඉන් අනතුරුව ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට වූහ. ඒ ඔහු වතුගෙදරට පැමිණියේ කවුරුන් ඝාතනය කිරීම සඳහාද යන්න දැන ගැනීමටය.
“සර්. මම ආවේ ‘ගිරවට’ ගහන්න…”
“කවුද ගිරවා කියන්නේ…?”
“උෟ මානවඩුගේ ගෝලයෙක්…”
“ඇයි උඹ උෟට ගහන්න හැදුවේ…?”
“උෟට ගහන්න කියලා ඩුබායිවලින් මට කන්ට්‍රැක් එකක් දුන්නා. අනෙක මටත් උෟත් එක්ක ඇරියස් එකකුත් තියෙනවා. සර්ලා මාව ඇල්ලුවේ නැත්නම් මම 22 වැනිදා උදේ උෟට ගහන්නමයි හිටියේ.” ප්‍රශ්න කිරීමේදී අලහොද්දා කීවේය.
ඒත් ගිරවා නමැත්තා ඝාතනය කිරීම සඳහා ඔහුට ලැබෙන කොන්ත්‍රාත් මුදල ගැන ඔහු වචනයකුදු කීවේ නැත. එහෙත් දැනගන්නට ඇති පරිදි ගිරවා මරා දැමීමේ කොන්ත්‍රාත්තුව සඳහා කිසියම් මුදලක් ලබාදීමට ඩුබායි පාර්ශ්වය එකඟ වී ඇත. එතැනින් එහාට ඔහු කිසිවක් කීවේ නැත. එහෙත් අලහොද්දා නිලධාරීන්ට පවසා ඇත්තේ ගිරවාට ගහන්න හැදුවේ තිබූ “ෆිට්” එකට බවය.
එමෙන්ම ඔහු එකහෙළාම පැවැසුවේ තමා රිවෝල්වරය සූදානම් කරගෙන සිටියේ ‘ගිරවා’ ඝාතනය කිරීම සඳහාම බවය. එහෙත් නිලධාරීහු ඉන් සෑහීමට පත් නොවූ අතර ඔහුගෙන් තව තවත් ප්‍රශ්න කරන්නට වූහ.
අහුන්ගල්ල, අම්බලන්ගොඩ, කොස්ගොඩ ප්‍රදේශවල පදිංචි සංවිධානාත්මක කල්ලිවලින් එක් පාර්ශ්වයක් කොස්ගොඩ සුජී නියෝජනය කරන්නේය. අනෙක් පාර්ශ්වය අහුන්ගල්ලේ පැටීගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන්නේය. අහුන්ගල්ලේ බබා නමැත්තා පැටීගේ පාර්ශ්වයේ සමීපතමයෙකි. බබාගේ විරුද්ධ පාර්ශ්වය වන්නේ කුඩු මධූෂා සහ ඇගේ පුතාය. මධූෂා කොස්ගොඩ සුජීගේ හිතවතියකි.
අහුන්ගල්ලේ බබා පාර්ශ්වයත් අහුන්ගල්ලේ මධූෂා පාර්ශ්වයත් අතර එකිනෙකා මරා ගැනීම් සිදු කෙරේ. ඒ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පැවතෙන ආරවුල් නිසාය. කෙසේ වෙතත් මේ පාර්ශ්ව මෙහෙයවන්නන් රැඳී සිටින්නේ ඩුබායිවලය. ඔවුන් මෙම ප්‍රදේශවල මිනිස් ඝාතන මෙහෙයවන්නේ ඩුබායි සිටය. ඒ නිසා එම පාර්ශ්ව අත්අඩංගුවට ගැනීම එතරම් ලෙහෙසි පහසු නැත. ඔවුන් විසින් මිනිස් ඝාතන සඳහා යොදවන තුවක්කුකරුවන් ආරක්ෂක අංශවලට කොටු වුවද එම ඝාතන ඩුබායි සිට මෙහෙයවන්නන් මෙරට පොලිසියට හසුවන්නේ නැත.
අහුන්ගල්ලේ බබා සහ අහුන්ගල්ලේ මධූෂා අතර ඇති විරසකය තදබල ලෙස උග්‍ර වන්නේ 2023 අප්‍රේල් 14 වැනිදා අහුන්ගල්ල, මිද්දරමුල්ල ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමත් සමඟය. වෙඩි පහරින් මැරුම් කන්නේ මිද්දරමුල්ල, අමරමෝලි මාවතේ පදිංචි තරිඳු ධනුෂ්ක නමැත්තෙකි. තරිඳු සිය සොහොයුරියගේ කුඩා දරුවන් දෙදෙනාද සිය යතුරුපැදියේ තබාගෙන ඥාති නිවෙසක අවුරුදු කෑමට ගොස් යළි සිය නිවෙස බලා එමින් සිටියදී තවත් යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් තරිඳු වෙඩි තබා ඝාතනය කළේය.
වෙඩි උණ්ඩය තරිඳුගේ හිස පසාරු කරගෙන ගිය අතර වෙඩි වැදීමත් සමඟ තරිඳු යතුරුපැදියද සමඟ බිම ඇද වැටිණි. තුවක්කුකරු දරු දෙදෙනාට කිසිදු අනතුරක් සිදු නොකළ අතර ඔහුගේ ඉලක්කය වූයේ තරිඳු පමණි. කෙසේ වෙතත් දරු දෙදෙනා සමඟ තරිඳුද බළපිටිය රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් තරිඳු මියගොස් තිබිණි. දරු දෙදෙනාට කිසිදු අනතුරක් සිදු නොවීය. වෙඩි තැබීම සිදු කර තිබුණේ ටී _ පනස් හය වර්ගයේ ගිනි අවියකිනි.
මරා දැමුණු තරිඳු බහුදින ධීවර යාත්‍රාවක් බලා කියාගත් අයකු වූ අතර, ඔහු විවාහ වීමට නියමිතව සිටියේ අහුන්ගල්ල, වැලිකන්ද පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ මධූෂාගේ දියණියක් සමඟිනි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අරඹනු ලැබුවේ අහුන්ගල්ල පොලිසිය මඟිනි. එම විමර්ශනයේදී අනාවරණය වූයේ තරිඳු මරා දැමීම මෙහෙයවා ඇත්තේ අහුන්ගල්ලේ ‘බබා’ බවය. ඔහු සහ මධූෂා අතර ඇති දැඩි වෛරය හේතු කොට ගෙන මධූෂා මරා දැමීමට නොහැකි වූ තැන ඇගෙන් පළිගැනීම සඳහා තරිඳු මරා දමා ඇති බව විමර්ශන නිලධාරීන්ට වැටහිණි.මධූෂාට සහ ඇගේ පුතාටද ඒ වන විටත් මරණීය තර්ජන එල්ල වී තිබිණි.
පොලිසියද ඒ සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කර තිබූ අතර ඒ නිසා මධූෂාගේ් පුතාද බහුදින යාත්‍රා වැඩකටයුතුවලින් අෑත් වී සිටියේය. ඉන් අනතුරුව එම යාත්‍රා වැඩකටයුතුවල තරිඳු නියැළිී සිටි අතර මධූෂාගෙන් පළිගැනීමට නොහැකි වූ තැන තරිඳු මරා දමා ඇති බව විමර්ශන නිලධාරීන්ට වැටහුණේය.
තරිඳු මරා දැමූ සැණින් මධූෂාගේ පුතුටද ඩුබායි සිට දුරකථන ඇමැතුමක් ලැබුණු අතර ඉන් පැවැසුවේ ඔහුවද ඝාතනය කරන බවකි.
මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන නිලධාරීන් තරිඳු ඝාතනය සම්බන්ධයෙන්ද අත්අඩංගුවට ගත් අලහොද්දාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට විය.
“ඔව් සර්. ඒක ගැහැව්වෙත් මම තමයි.”
“ඒකට උඹට කීයක් දුන්නද…?” උප පරීක්ෂක සම්පත් අලහොද්දාගෙන් විමසුවේය. “ලක්ෂ 16ක් දුන්නා.”
ඔහු කීවේය. තරිඳු ඝාතනය කිරීමෙන් පසු ඝාතනයට උපයෝගීි කරගත් යතුරුපැදිය කරන්දෙණිය ඇරවාවිල, පනාපිටිය මාර්ගයේ කුරුඳු ඉඩමක අතහැර දමා පැන ගිය බවද ඔහු නිලධාරීන් ඉදිරියේ පැවැසුවේය. ඒ අනුව ‘බබාගේ පාර්ශ්වයේ මෙහෙයවීම මත සිදුවූ ” තරිඳු ඝාතනයේ සුලමුලද අනාවරණය කර ගැනීමට නිලධාරීන්ට හැකි වූ අතර තවදුරටත් කළ ප්‍රශ්න කිරීමේදී ‘අලහොද්දා’ ඉකුත් මස 10 වැනිදා අහුන්ගල්ල ප්‍රදේශයේ සිදු කළ තවත් මිනිස් ඝාතනයක තොරතුරුද හෙළි කරන්නට විය. එදින මොහු අතින් ඝාතනය වූයේ පියල් ගාමිණී නමැති අයෙකි. යතුරුපැදියකින් පැමිණි සැකකරු නිවෙසේ වසා දමා තිබූ ගේට්ටුවට අත ගසාගෙන කාන්තාවකගෙන් ඇගේ පුතා ගැන විමසා ඇත. එවිට පුතා නිවෙසේ නොමැති බව ඇය පැවැසීමත් සමඟ සැකකරු ඔහුගේ පියා වූ පියල් ගාමිණීටද වෙඩි තබා ඇත.
නිලධාරීන් එම ඝාතනය ගැන අලහොද්දාගෙන් තවදුරටත් කරුණු විමසුවේය. එහිදී අනාවරණය වන්නේ ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින අහුන්ගල්ලේ බබා විසින් එම වෙඩි තැබීම සිදු කිරීම සඳහා ඔහුට කොන්ත්‍රාත්තුව ලබාදුන් බවය.
ඉකුත් මස 8 වැනිදා රාත්‍රියේ ලෝකන්වත්ත ප්‍රදේශයේ නිවෙසකට යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් නිවෙසේ සිටි පුද්ගලයකුගේ නම කියා කතාකොට ඔහුගේ හිසට වෙඩි තබා පලා ගියේය. වෙඩි තැබීමෙන් මරණයට පත්වූයේ ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන අහුන්ගල්ලේ බබා නමැත්තාගේ පියාය. කීර්තිසිංහ ආබෘෘ වූ ඔහු 54 වියේ පසුවිය. ඔහු මරා දමා තිබුණේ පිස්තෝල වර්ගයේ ගිනි අවියකිනි.
පියා ඝාතනය කිරීමත් සමඟ බබාගේ වෛරය, කෝපය ඇවිස්සී ගියේය. එමෙන්ම තම පියා ඝාතනය කළේ කවුරුන්ද යන්න සෙවීමටද බබා අමතක කළේ නැත. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරැඹුවේ අහුන්ගල්ල පොලිසිය විසිනි. කෙසේ වෙතත් බබාගේ පියාට වෙඩි තැබූ තුවක්කුකරු මෙන්ම ඒ සඳහා යතුරුපැදිය පැදවූ තැනැත්තාද කොස්ගොඩ පොලිසිය සහ විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනිණි.
ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළි වූයේ බබාට විරුද්ධ පාර්ශ්වය වූ මධුෂා සහ ඔහුගේ පුතා විසින් එම ඝාතනය මෙහෙයවා ඇති බවය. එහෙත් ඊට පෙර ඒ බව අහුන්ගල්ලේ බබා දැනගෙන සිටියේය. පියා මරා දැමීම බබාට ඉහිලුම් නොදෙන්නක් විය. ඊට ප්‍රතිප්‍රහාර දීමට බබා තෝරාගෙන තිබුණේ අලහොද්දාය. කොන්ත්‍රාත්තුව ලක්ෂ 10කි. “මගේ තාත්තාගේ මරණෙට ගෑවුණු ගෑවුණු හැම එකාම මරපන්.”නිලධාරීන් ඒ සම්බන්ධයෙන් අලහොද්දාගෙන් ප්‍රශ්න කළේය. ඔහු ඊට පිළිතුරු දෙමින් පැවැසුවේ මෙවැන්නකි.
“බබාගේ තාත්තාට ඊට දවස් දෙකකට කලින් වෙඩි තිබ්බා. ඒකේ පළිය ගන්න තමයි මේක කළේ. බබාගේ තාත්තා මරන්න ආපු එවුන්ට ඔත්තු බලලා තියෙන්නේ පියල් ගාමිණීගේ පුතා. මට කිව්වේ පුතාට ගහලා ඉවරවෙලා ගෙදර ඉන්න සේරටම ගහපන් කියලා.”
පුතා නැති නිසා මම තාත්තට ගහලා වෙපන් එකත් ලෝඩ් කරගෙන ගේ ඇතුළට ගියා. ඒත් එක්කම මම දැක්කා වෙඩි වැදුණු කෙනාට පණ තියෙනවා කියලා. මම තවත් ෂොට් එකක් දීලා ගේ ඇතුළට ගියා. ගෙදර ඉන්න අනිත් අයට ගහන්න. ගෙදර තව තුන් දෙනෙක් හිටියා. ඒත් මගේ වෙපන් එක ලොක් වුණා. ඒ පාර මම පැනලා දිව්වා”.අලහොද්දා විමර්ශන නිලධාරීන්ට කීවේය.
“කීයක් දුන්නද ඒක ගැහැව්වට”
“ලක්ෂ 10ක් සර්”විමර්ශන නිලධාරීන් පවසන්නේ තරිඳු නමැත්තාටත්, පියල් ගාමිණීටත් වෙඩි තබා ඇත්තේ අලහොද්දා බවය. මේ සියල්ල සටහන් කරගත් නිලධාරීන් ඔහු විසින් සිදු කිරීමට සැලසුම් කළ හා සිදු කළ තවත් මනුෂ්‍ය ඝාතන ඇත්දැයි විමසමින් ඔහුගෙන් තවදුරටත් ප්‍රශ්න කළේය. ඒ රැඳවුම් නියෝග මතය.
එම ප්‍රශ්න කිරීම තදින් සිදු විය. එහි ප්‍රතිඵලයක් ලෙස අලහොද්දා සැලසුම් කළ තවත් ඝාතනයක තොරතුරු නිලධාරීන් ඉදිරියේ හෙළි කරන්නට විය.
“ගිරවාට ගැහුවට පස්සේ අම්බලන්ගොඩ… මාළු මුදලාලිටත් ගහන්න මට කන්ට්‍රැක්ට් එක ලැබුණා.”නිලධාරීන් ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් එම මාළු ව්‍යාපාරිකයාගේ තොරතුරු විමසීය.
එම කොන්ත්රාත්තුවද අලහොද්දාට ලැබෙනුයේ ඩුබායි පාර්ශ්වයෙන්ය. මාළු ව්‍යාපාරිකයා මරා දැමීමේ කොන්ත්‍රාත්තුව ලක්ෂ 60කි. එකී මුදලට, ව්‍යාපාරිකයා මරා දැමීමට අලහොද්දා එකඟ විය.
මධුෂාගේ බෝට්ටුවලින් මාළු මිලදී ගැනීම මෙම ව්‍යාපාරිකයා විසින් සිදු කර තිබීම ඔහු ඝාතනය කිරීමට එක් හේතුවක් බව විමර්ශන නිලධාරීහු කීහ.
“සර්… මට ඒ ගේම ගහන්න ටී _ 56 වෙපන් එක එවන්නම් කියලා තමයි කිව්වේ. ඒත් මට තවම ඒක හම්බ වුණේ නැහැ. ගිරවාට ගහලා ඉවර වෙලා තමයි ඒක කරන්න හිටියේ.”අලහොද්දා නිලධාරීන් ඉදිරියේ කීවේය.
“සර් මීට කලිනුත් එයාව මරන්න කන්ට්‍රැක්ට් එකක් දීලා තිබුණා. ඒත් ඒක මිස් වෙලා තිබුණා ෂුටර් පොලිසියට මාට්ටු වුණු හින්දා” ඒ නිසා තමයි මට ඒක දුන්නේ.”අලහොද්දා කීවේය. ඒ අනුව විමර්ශන නිලධාරීන් කීවේ ඉකුත් ජනවාරි මාසයේ එම ව්‍යාපාරිකයා ඝාතනය කිරීම සඳහා තුවක්කුකරුවන් උත්සාහ දරා ඇති බවය. ඒ සඳහා පැමිණි තුවක්කුකරු සහ පැදිකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම නිසා එම ව්‍යාපාරිකයාගේ ජීවිතය බේරී ගියේය. තුවක්කුකරුවන් සන්තකයේ තිබී ව්‍යාපාරිකයා ඝාතනයට උපයෝගී කරගත් පිස්තෝලයද නිලධාරීන් සිය භාරයට ගෙන තිබිණි.
එලෙස අත්අඩංගුවට පත්වන තුවක්කුකරු යුද හමුදා සෙබළෙකි. ඔහු පන්නිපිටිය ඇරැව්වල, සමඟ මාවතේ පදිංචි සනත් නමැත්තකු වන අතර යුද හමුදා මූලස්ථානයට අනුයුක්ත වූවෙකි. යුද හමුදා විශේෂ බළකායේ රාජකාරි කළ මොහු අත්අඩංගුවට පත්වන විට විජයබා රෙජිමේන්තුවේ සේවයකොට නිවාඩු ලබා පැමිණ සිටියදී මෙම ඝාතනය සිදු කර නැවත කඳවුර වෙත රපෝර්තු කිරීමට සූදානම්ව සිට තිබේ.
අත්අඩංගුවට ගත් යතුරුපැදිකරු බළපිටිය, මෝදරවත්ත පදිංචිකරුවකු වූ කනිෂ්ක නමැත්තෙකි. සැකකරුවන් පැමිණි පල්සර් වර්ගයේ කළු පැහැති යතුරුපැදියද නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් වෙඩි තැබීම සඳහා පැමිණ ඇත්තේ ව්‍යාජ අංක තහඩුවක් සිය යතුරුපැදියේ සවිකරගෙනය. විමර්ශනයේදී හෙළිවූයේ ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘ලොකු පැටී’ නමැත්තාගේ මෙහෙයවීම මත මෙම ඝාතනය සිදු කරන්නට උපදෙස් ලබාදී තිබූ බවකි.
ඒ අනුව මාළු ව්‍යාපාරිකයා මරා දැමීමට යොදාගත් තුවක්කුකරු සහ යතුරුපැදිකරු පොලිසියට කොටුවීමත් සමඟ ඩුබායි පාර්ශ්වයේ ඉලක්කය වැරදිණි. “ඒක වැරදුණු නිසා තමයි මාස හයකට පස්සේ දෙවැනි කොන්ත්‍රාත් අලහොද්දාට භාරදීලා තිබුණේ. උෟ අල්ලගත්ත නිසා දෙවැනි පාරටත් ඒ ව්‍යාපාරිකයාට ජීවිතය බේරාගන්න පුළුවන් වුණා.” විමර්ශන නිලධාරියෙක් පවසන්නට විය.
සැකකාර අලහොද්දා අත්අඩංගුවට ගැනීමත් සමඟ මිනිස් ජීවිත දෙකක් බේරී ගිය අතර එම ඝාතන සැලසුම්ද අනාවරණය කරගැනීමට මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට හැකි විණි. එමෙන්ම විස¼දාගත නොහැකි වූ මිනිස් ඝාතන දෙකක තොරතුරුද ඒ අනුව හෙළි කර ගැනීමට එම නිලධාරීන්ට හැකි වීම අගය කළ යුත්තකි. සැකකාර අලහොද්දා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියමිතය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න සහ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ ජේයෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙණිය යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත සහකාර පොලිස් අධිකාරිවරුන් වූ කළුආරච්චි සහ ගමගේ යන මහත්වරුන්ගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක එම්.ටී. අයි. සම්පත් ප්රමුඛ සැරයන් ගමගේ (40947), කොස්තාපල්වරුන් වූ හරිශ්චන්ද්‍ර (23652), මුණසිංහ (27275), වීරසිංහ (27429), කුලසිංහ (32857), රණතුංග (76757) සහ බණ්ඩාර (103069) යන නිලධාරීහු මෙම වැටලීමට එක්ව සිටියහ. විමර්ශන අනුව ලිපිය සකස් කෙරිණි.
කීර්ති මෙන්ඩිස්