වැඩවර්ජන පිටුපස සිටින ජනතා විමුක්ති පෙරමුණේ එකම අභිප්‍රාය රට අස්ථාවර කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරයි. මීට පෙරද ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන වාසි අපේක්ෂාවෙන් රට අස්ථාවර කිරීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළ බව පවසන ඒ මහතා අද වනවිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම්කිසි සුබවාදී මට්ටමක පවතින බව ද ඒ හේතුවෙන් රට අස්ථාවර කිරීම ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂාව වී තිබෙන බව ද පවසයි. විශේෂ ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙන්වා දුන්නේ වැඩවර්ජනයේ නිරතව සිටින වෘත්තීය සමිති කිහිපයක ඉල්ලීමට අනුව රාජ්‍ය සේවකයන් සඳහා රුපියල් 20,000ක වැටුප් වැඩිකිරීමක් සිදුකරන්නේ නම් වසරකට රුපියල් කෝටි 40,000ක (බිලියන 400ක) අතිරේක වැයබරක් දැරීමට මහා භාණ්ඩාගාරයට සිදුවන බවයි.
ඒ අනුව රුපියල් 20,000ක මාසික දීමනාව රාජ්‍ය සේවකයන් ලක්ෂ 16කට ලබාදිය යුතුවන නමුත් එවැනි විශාල මුදලක් වෙන් කිරීමේ හැකියාව මහා භාණ්ඩාගාරයට නොමැති බව ද එම මුදල වෙන් කරන්නේ නම් ඒ සඳහා ඇති විකල්පය මුදල් අච්චු ගැසීම, බදු ඉහළ නැංවීම හෝ ණය ගැනීම බව ද ඒ මහතා පෙන්වා දුන්නේය. මේ අවස්ථාවේ කිසිඳු ලෙසකින් හෝ මුදල් අච්චු ගැසීමට හෝ ණයට ගැනීමට නොහැකි නමුත් රාජ්‍ය සේවකයන්ගේ ඉල්ලීම ඉටුකිරීමට නම් වැට් බද්ද සියයට දෙකකින් ඉහළ දැමීමට සිදුවන බව පැවැසීය.
කෙසේ වුවද ඊයේ සහ අද දින වල පැවැත්වෙන වර්ජන සඳහා ලක්ෂ 5ක් වැනි රාජ්‍ය සේවකයන් පිරිසක් සම්බන්ධ වී සිටින බව පෙන්වාදුන් මන්ත්‍රීවරයා මෙම වැඩ වර්ජනය පිටුපස ජනතා විමුක්ති පෙරමුණ සිටින බව ද ඔවුන්ගේ එකම අභිප්‍රාය රට අස්ථාවර කිරීම බව ද පැවැසීය. වර්ජනය කිරීම තුළින් හෝ යම්කිසි අගයකින් වැටුප් වැඩි කර ගැනීම පවතින ජීවන බර හේතුවෙන් සාධාරණ වන නමුත් එවැනි පියවරක් ගැනීම සඳහා එළඹෙන අය-වැය පැමිණෙන තෙක් සිටින්නැයි රජය ඉල්ලීම්ක් කළ බව ද සඳහන් කළේය.
කෙසේ නමුත් එවැනි ඉල්ලීමකට අවධානය යොමු නොකොට වැඩ වර්ජනයේ නිරතව සිටින බව පෙන්වාදුන් මන්ත්‍රීවරයා රාජ්‍ය සේවය අකර්මණ්‍ය කර රට අස්ථාවර කිරීම ඔවුන්ගේ උත්සාහය වී තිබෙන බව ද හැකිනම් අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපතිවරයා බවට පත්කොට වැටුප් වැඩිකර ගැනීමට පියවර ගන්නා ලෙස ද ඉල්ලීමක් කළේය.