අධිකරණයට අපහාස කළ සජබ කටබලියාට නොතීසි.

Adikaranayata apahasa kala

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ දඬුවම් නොකිරීමට ලබන 10 වැනි දා කොළඹ දිසා අධිකරණය ඉදිරියේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා සමඟි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාට ඊයේ (08) නොතීසි නිකුත් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශ නිකුත් නොකරන ලෙස කොළඹ දිසා අධිකරණය පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාට පෙර අවස්ථාවක උසාවි නියෝගයක් දී තිබිණි.

වගඋත්තරකරු එය කඩකරමින් පසුගියදා රූපවාහිනී වැඩසටහනක සහභාගී වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හා එහි නිලධාරීන්ට අපහාස වන ආකාරයේ ප්‍රකාශ කිහිපයක් කර ඇති බව පැමිණිල්ලේ දැක්වේ. එබැවින් වගඋත්තරකරුට එරෙහිව අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීමේ චෝදනාව යටතේ දඬුවම් කරන ලෙස ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා කළ ඉල්ලීමක් සලකා බලා කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා මෙම නියෝගය නිකුත් කළේය.

2024 ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) ක්‍රිකට් තරගාවලියේදී අක්‍රමිකතා සහ අවභාවිතාවන් සිදුව ඇති බවට වගඋත්තරකරු ප්‍රකාශකර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ලෙස හා ෂම්මි සිල්වා වෙනම අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීමේ චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාට විරුද්ධව නඩු 3ක් පවරා ඇත. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාට සහ ඔහු යටතේ ක්‍රියා කරන සියලු දෙනාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්හට අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනතේ 55 – (අ) වගන්තිය අනුව දිසා අධිකරණයට අපහාස නඩුවක වැරැදිකරුවකුට වසර 2 ක් දක්වා බරපතළ හෝ බරපතළ නොවන සිර දඬුවමක් හෝ රුපියල් 2,500කට අඩු දඩයක් හෝ එම දඬුවම් දෙකම හෝ නියම කිරීමේ බලය දිසා අධිකරණයට පවතී.

ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා සමඟ නීතිඥ පසිදු බණ්ඩාර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *