කසිප්පු සොට් දුන් කන්ද උඩරට පොට් එකට පොලීසියේ සොට් එක

kasippu shot dun

මහනුවර මධ්‍යම වෙළෙඳ පොළේ හෝටලයක් පවත්වාගෙන යමින් තේ කෝප්පවලට දමා ඉතා රහසිගතව කසිප්පු අලෙවි කළ ව්‍යාපාරිකයකු සහ හෝටල් සේවකයකු මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. හෝටලයේ තේ හදන ස්ථානය අසල රටබීම බෝතල්වලට කසිප්පු පුරවා තබාගෙන ගැනුම්කරුවන් පැමිණි විට අඬු කෝප්පවලට දමා ඒවා අලෙවි කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත. මෙම හෝටලය පෙරවරු 5.00 ට විවෘත කරන බවත් එළවළු හා පලතුරු තොග ලොරිවලින් මධ්‍යම වෙළෙඳපොළේ වෙළෙඳසල් වෙත රැගෙන යන නාට්ටාමිවරුන් මෙම ස්ථානයෙන් කසිප්පු පානය කිරීමට හුරුවී තිබෙන බවත් පොලිසිය පවසයි.

උදෑසන, දවල් හා රාත්‍රී ආහාර ගැනීම සඳහා දෛනිකව මෙම හෝටලයට විශාල පිරිසක් පැමිණීම හේතුවෙන් එහි නීති විරෝධී මත්පැන් ජාවරමක් සිදුවන බවට කිසිවකුටත් සැක පහළ වී නොමැත.

දෛනික ගැනුම්කරුවන්ට පමණක් මෙම ස්ථානයේදී කිසිප්පු අලෙවි කර තිබෙන අතර වැටලීම සිදු කරන අවස්ථාවේ එහි තිබී කිසිප්පු බෝතල් 08 ක් පොලිසිය භාරයට ගෙන තිබේ.

රුපියල් 1200ක මුදලකට තමන් ලබා ගන්නා කසිප්පු බෝතලයක් කෝප්පවලට දමා විකිණීමෙන් රුපියිල් 2000 ක පමණ මුදලක් ලැබෙන බවත් දිනකට බෝතල් 10 ක් පමණ අලෙවි කර රුපියල් 8000 ක පමණ අමතර ආදායමක් හෝටලයේ හිමිකරු ලබා ගන්නා බවත් පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත. මහනුවර පොලිසිය පෙනෙන මානයේ ඇති මහනුවර මධ්‍යම වෙළෙඳපොළ තුළ දීර්ඝ කාලයක් තිස්සේ ඉතා රහසිගතව මෙම කසිප්පු ජාවාරම සිදු කරගෙන ගොස් තිබෙන අතර ඒ සම්බන්ධයෙන් මහනුවර මහ නගර සභාව මඟින් ද පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් මත මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ මෙහෙයවීමෙන් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක, උප පොලිස් පරීක්ෂකවරුන් වන අබේරත්න, ධම්මික, පොලිස් සැරයන් 32874 ජයවර්ධන, පොලිස් කොස්තාපල් 69707 හේමසිරි යන නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් හෝටල් සේවකයා කලක් විශේෂ කාර්ය බළකායේ සේවය කොට විශ්‍රාම ගිය අයකු බව පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *