නැඟෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන මොරිටානියා මුහුදු සීමාවට ඔබ්බෙන් අත්ලාන්තික් සාගරයේදී අනවසර සංක්‍රමණිකයන්ගේ බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 89 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මොරිටානියා වෙරළාරක්ෂක බළකාය විසින් එම මළසිරුරු සොයා ගෙන ඇති අතර, පස් හැවිරිදි දැරියක ඇතුළු පුද්ගලයන් 9 දෙනකුගේ ජීවිත බේරා ගැනීමට ද සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ගැම්බියාවේ සහ සෙනගාලයේ සිට එම බෝට්ටුව අත්ලාන්තික් සයුරට දියත් කළ බවත්, ඒ වන විට එහි පුද්ගලයන් 170 දෙනකු සිටි බවත් දිවි බේරාගත් පුද්ගලයකු ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. ඒ අනුව අතුරුදන් වූ පුද්ගලයන් 72 දෙනකු සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ. බටහිර අප්‍රිකාවේ සිට යුරෝපය බලා යාත්‍රා කළ බව කියන එම බෝට්ටුව අනතුරට ලක්වී ඇත්තේ ප්‍රමාණයට වඩා පුද්ගලයන් පටවා ගැනීම හේතුවෙන් බව ද මොරිටානියා වෙරළාරක්ෂක බළකාය ප්‍රකාශ කර ඇත. අනතුරුදායක මේ මුහුදු මාර්ගය ඔස්සේ අවදානම් බෝට්ටු මගින් යාත්‍රා කරන අප්‍රිකානු රටවල අනවසර සංක්‍රමණිකයන්ගේ ගමනාන්තය වී ඇත්තේ ස්පාඤ්ඤයේ කැනරි දූපත් සමූහය වන අතර, පසුගිය වසරේදී පමණක් 40,000කට අධික සංක්‍රමණිකයන් පිරිසක් කැනරි දූපතට ගොස් ඇතැයි වාර්තා වේ.