අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ සේවයේ නිරතවන අතර කාලයක සිට ගංජා ජාවාරමේ යෙදුණු බවට වන චෝදනාව මත මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින පොලිස් සැරයන්වරයා ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙසට නීතිඥයන් කළ ඉල්ලීමක් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා යළි ප්‍රතික්ෂේප කළේය. අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ගංජා කිලෝ එකයි ග්‍රෑම් නව සියයක් සැකකරු සන්තකයේ තිබිණි.
සැකකරු යළි මෙම මස 25 දින දක්වා රිමාන්ඩ් කිරීමටද නියෝග කෙරිණ.
මෙම සිද්ධියට අදාළ නඩුව යළි කැඳවූ අවස්ථාවේ අධිකරණයට කරුණු දක්වමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ඉල්ලා සිටියේ සැකකරුට එරෙහිව පවතින ගංජා ජාවාරම් කිරීමේ චෝදනාව ඉවත් කරන ලෙසයි.
සැකකරු ඕනෑම ඇප කොන්දේසික් මත මුදා හරින ලෙසටද නීතිඥයන් කළ ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුට ගංජා ජාවාරම් කිරීමේ චෝදනා පවතින බැවින් ඔහුට ඇප ලබා දීමට තම අධිකරණයට බලයක් නැති බවද කීවේය.
සැකකාර පොලිස් සැරයන්වරයාගේ සහ ඔහුගේ බිරියගේ නමින් මෙරට සියලු බැංකුවල පවතින ගිණුම්වලට අදාළ විස්තර නොපමාව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලබා දෙන ලෙසටද මහ බැංකුවේ කළමනාකාරිත්වයට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙසේ රිමාණ්ඩ් කෙරුණේ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව සේවය කළ ගලෙන්බිඳුනුවැව උල්පත්ගම ස්ථීර ලිපිනයේ සහ අනුරාධපුර පොලිස් නිල නිවාස තාවකාලික ලිපිනයේ පදිංචි ඩග්ලස් අප්පුහාමි නමැති පොලිස් සැරයන්වරයෙකි. සැකකාර පොලිස් සැරයන්වරයා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ වැඩිදුර වාර්තාවක් මඟින් කියා සිටියේ සැකකරු සහ ඔහුගේ බිරිය සතුව විශාල වත්කම් ප්‍රමාණයක් ඇති බවට විමර්ශන නිලධාරීන් සැක කරන බවය.
ගංජා කිලෝ එකයි ග්‍රෑම්ස් නවසියයක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකාර පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගනු ලැබුවේ අනුරාධපුර ගුවන්තොටුපළ පාරේය.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතාගේ අධීක්ෂණය යටතේ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරුන් වන කරුණානන්ද වන්නිනායක සහ එච්.එම්. හේරත් සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පෙනී සිටි අතර සැකකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ රංජිත් රාජකරුණා මහතා පෙනී සිටියේය.