නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියකු පැවසුවේ පියුමි හංසමාලි මහත්මියගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට පෙර දිනයක ඇයට කැඳවීමක් කළද නොපැමිණි බවය. ඒ වෙනුවට ඇය ඊයේ පැමිණෙන බව දැනුම් දී තිබුණු බව ද එම නිලධාරියා කීය. ඇය පැමිණෙන බව දැනුම් දුන්නද එය පිළිගෙන ඇයට මෙදින පැමිණෙන ලෙස නීති විරෝධි වත්කම් විමර්ශන අංශය විසින් නැවත දැනුම්දීමක් කර නොතිබිය දී ඇය පැමිණි බැවින් ප්‍රකාශ සටහන්කර ගැනීමක් සිදු නොවූ බව ද එම නිලධාරියා පැවැසීය.
ප්‍රකාශ ලබා නොගත් බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මුණගැසීමට යන බව සඳහන් කරමින් ඇය පිටත්ව ගිය බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය. පියුමි හංසමාලි මහත්මිය නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට ඊයේ පැමිණ තිබුණේ සිය සැමියා සමඟිනි. නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාස ගොඩනැඟිල්ලට ඇතුළුවීමට පෙර එම ස්ථානයේ රැඳී සිටි මාධ්‍යවේදීන් අමතා ඇය පවසා සිටියේ තමාට පසුගිය සඳුදා නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් කර තිබුණු බවය. එම දැනුම්දීම තමාට ලැබුණේ සෙනසුරාදා බව ද ඇය එහිදී කීවාය. ප්‍රකාශ ලබාදීමට පැමිණිමේ දී ඊට අදාළ ලියවිලි රැගෙන ආ යුතු වූ බැවින් ඒවා සකස්කර ගැනීමට කාලයක් අවශ්‍ය බවත් ලියවිලි විශාල ප්‍රමාණයක් ඇති බවත් එහිදී ඇය කීවාය. මෙදින තමා පැමිණියේ තමා සතුව ඇති විශාල ලියවිලි ගොන්නකින් කොටසක් පමණක් රැගෙන බවත් පොහොර බෑග් 05ක් පිරෙන්නට තමා එම ලියවිලි රැගෙන ආ බවත් ඇය කීවාය. උරවල දැමූ ලියවිලි තොගයක් සිය සැමියා සමඟ ඇය පැමිණ සිටි වාහනයේ ඩිකියේ තිබුණු අතර ඇය එම ලියවිලි ගොන්නද මාධ්‍යයට පෙන්වනු ලැබීය. ඒ අතරින් ලිපිගොනු කිහිපයක් පමණක් රැගෙන ඔවුන් දෙදෙනා නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය තුළට ගියත් ඉතා කෙටි කාලයක් තුළ නැවත පිටතට පැමිණ තිබුණි.
තමා අලේපන වර්ගයක් අලෙවි කරන බවත් එම ආලේපන වර්ගය රුපියල් 35,000ක් වන බවත් පියුමි හංසමාලි මහත්මිය නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට පෙර සඳහන් කළාය. තමා එම ආලේපන වර්ග ගනුදෙනුකරුවන් 25,000කට අලෙවිකර ඇති බව ද ඇය කීවාය. එසේම තමා සියලු ගනුදෙනු කර ඇත්තේ බැංකුව සමඟ බැවින් ඕනෑම අයෙකුට ගණන් කර තමාගේ ආදායම කොපමණදැයි සොයා ගැනීමට හැකියාව ඇති බව ද ඇය එහි දී පැවසුවාය.
නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරනු ලැබුවේ ඉදිරි දිනක නැවත ඇයට පෙනී සිටින ලෙස දැනුම් දෙන බවය. එහිදී ඇය විසින් ඉදිරිපත් කරන ලේඛන පරීක්ෂා කරන බවත් අනතුරුව ඇය සඳහන් කරන ගනුදෙනුකරුවන් ගැන මෙන්ම අදාළ නිෂ්පාදනයෙන් ඇයට හිමිවන ලාභය ගණනය කර ඇය නීති විරෝධි ඉපයීමක් කර තිබේදැයි පරීක්ෂා කරන බව ද නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් පැවැසීය.