ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තමා ඉදිරිපත් කිරීමට එම පක්ෂය තීන්දු කරන්නේ නම් තමා ඊට සූදානම් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ප්‍රකාශ කරයි.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ 7, රොස්මිඩ් පෙදෙසේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිකයන්ගේ මධ්‍යස්ථානය ඊයේ (5) පෙරවරුවේ කොළඹදී විවෘත කළ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. ජනාධිපති අපේක්ෂක ධුරය බලාපොරොත්තුවෙන් පොදුජන පෙරමුණට වැඩ කරන බව කී ඒ මහතා මැතිවරණය ජය ගැනීමට වැඩ කටයුතු කරමින් සිටින බවද සඳහන් කළේය. වර්තමානය වන විට රටෙන් 44% ක් ඡන්දය දෙන්නේ කාටද යන්න තවම තීරණය කර නැති බවත්, වේදිකාවල කොතරම් ලොකුවට කථා කළත් ආර්ථිකය දියුණු කරන්නේ කෙසේද යන්න කිසිවකු නොකියන බවත් ඒ මහතා කීය. වේදිකාවට පැමිණිය හොත් ආර්ථිකය දියුණු කිරීමේ වැඩපිළිවෙළ කිව යුතු බැවින් ඒ වැඩපිළිවෙළ සකස් කරමින් සිටින බව සඳහන් කළ මන්ත්‍රීවරයා සමහර දේශපාල පක්ෂ අවුරුදු 2ක් තිස්සේ ජනාධිපතිවරණ ප්‍රචාරයන් කළද රටේ ආර්ථිකය හදන්නේ කෙසේද යන්ව පැහැදිලි කර නැති බවද සඳහන් කළේය. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඉදිරි දින 90 තුළ ආර්ථිකය හදන හැටි කිව යුතු බවත්, ආර්ථිකය හදන හැටි පවසන විට ජනතාවට ආත්මශක්තියක් ලැබෙන බවත් හෙතෙම කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.