ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ හා දේශපාලන මණ්ඩලයේ අනුමැතියෙන් පත් වූ පක්ෂ මහ ලේකම්වරයා තමා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් හෝ පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීම තහනම් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසට අතුරු තහනම් නියෝගයක් කොළඹ දිසා අධිකරණය ඊයේ (2) නිකුත් කළ අතර, මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී දයාසිරි ජයසේකර මහතා මේ බව සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එම පක්ෂයේ නියෝජ්‍ය ලේකම් සරත් ඒකනායක මහත්වරුන් විත්තිකරුවන් කරමින් පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව කොළඹ අතිරේක දිසා විනිසුරු අනුර වික්‍රමසිංහ මහතා මේ තහනම නිකුත් කර ඇත. තහනම් නියෝගය නඩුව විභාග කර අවසන් තීන්දුවක් දෙන තෙක් ක්‍රියාත්මක වන අතර, මේ නියෝගය ප්‍රකාරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයේ කටයුතු කිරීමට තමාට කිසිදු බාධාවක් නැති බවත්, ඒ අනුව ඉදිරියේදී පක්ෂ කාර්යාලයට ගොස් නැවත වැඩ කටයුතු ආරම්භ කරන බවත් ජයසේකර මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ලෙස දැනට නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ පාර්ශ්වය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා කටයුතු කරන අතර ඒ සම්බන්ධයෙන් කළ විමසීමේදී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ දුමින්ද දිසානායක මහතාගේ පත්වීම නීත්‍යානුකූලව සිදුව නැති බවයි. එමෙන්ම මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය නියෝජනය කරමින් එම පක්ෂයේ වැඩ බලන මහ ලේකම් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී සාරති දුෂ්මන්ත මිත්‍රපාල මහතාටද මේ වනවිට වාරණ නියෝගයක් නිකුත් කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගෙන්ද විමසීමක් කළ අතර, ඒ මහතා සඳහන් කළේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට අදාළ වන පරිදි දී ඇති අතුරු තහනම් නියෝගය මඟින් දැනට පක්ෂයේ සභාපති ලෙස කටයුතු කරන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාට හා තමාට බලපෑමක් එල්ල නොවන බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ඉල්ලා අස් වූ බවත්, පක්ෂය තුළ සිටි වැඩ බලන මහ ලේකම් වෙනුවට ප්‍රධාන ලේකම්වරයකු පත් කරගැනීමට පක්ෂයේ විධායක සභාව කටයුතු කර ඇති බවත්ය.