විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා අමෙරිකාවට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඊයේ (19) උදෑසන යළි මෙරටට පැමිණියේය. වෙනදාට කටුනායක ගුන්තොටුපොළේ සාමාන්‍ය මගී පර්යන්තය ඔස්සේ පිටතට පැමිණෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් ඊයේ මුදල් ගෙවා පහසුකම් සලසාගත යුතු ‘සිල්ක් රූට්’ පර්යන්තය ඔස්සේ පිටතට පැමිණීම විශේෂත්වයකි. ‘සිල්ක් රූට්’ පර්යන්තයේ පහසුකම ලබා ගැනීමට එක් මගියකුගෙන් අමෙරිකානු ඩොලර් 50ක් (රුපියල් 15221.33) අය කරන අතර, එම ගාස්තුව ගෙවා ශ්‍රී ලංකා පිල ‘සිල්ක් රූට්’ පර්යන්තයේ පහසුකම් ලබා ගත් බව කටුනායක ගුවන්තොටුපොළ කාර්ය භාර නිලධාරියා ප්‍රකාශ කළේය.
මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පිල දුර්වල ක්‍රීඩා විලාසය හේතුවෙන් මූලික වටයෙන්ම ඉවතට විසි වූ අතර, ශ්‍රී ලංකා පිලේ පසුබෑම මෙරට ක්‍රීඩාලෝලීන් අතර දැඩි අප්‍රසාදයට හා කෝපයට හේතු වී තිබිණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පැමිණීම වෙනුවෙන් ගුවන්තොටුපොළ තුළත්, ඉන් පිටත ප්රදේශයෙත් දැඩි ආරක්ෂාවක් යොදවා තිබිණි. මීට පෙර අවස්ථාවලදී ශ්‍රී ලංකා පිල විදෙස් සංචාරයකින් පසු යළි පැමිණීමේදී රථවාහන හැසිරවීමේ කටයුතු සඳහා පමණක් පොලිස් නිලධාරින් යොදවා තිබුණද, ඊයේ ගුවන්තොටුපොළ අවට සැලකිය යුතු පොලිස් නිලධාරින් පිරිසක් ද, විශේෂ කාර්ය බළකාය ද යොදවා තිබිණි.
ක්‍රීඩකයන් අතින් වැරදි සිදුවූ බවත්, හොඳින් ක්‍රීඩා නොකළ බවත් ඊයේ උදෑසන 8.40ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ශ්‍රී ලංකා පිලේ නායක වනිඳු හසරංග ගුවන්තොටුපොළේදී අදහස් දක්වමින් කියා සිටියේය. මූලික වටයෙන් තරගාවලියෙන් ඉවත්වීමට සිදුවීම ගැන කණ්ඩායමේ නායකයා ලෙස කනගාටු වන බව ද ඔහු පැවසීය.