ජනතාවගේ ලොකුම ගැටලුවකට කනකගෙන් පිලිතුරු

ජනතාවගේ ලොකුම ගැටලුවකට කනකගෙන් පිලිතුරු

සයිබර් ආරක්ෂණ පනත පාර්ලිමේන්තුවට කඩිනමින් ගෙන ඒමට පියවර ගන්නා බව තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) පැවසීය.

කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ පැවැති විවාදයට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසීය. රාජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසීය. පනත සම්මත කර ගැනීමෙන් පසුව සයිබර් ආරක්ෂණ අධිකාරිය ස්ථාපිත කරන බව ද රාජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.

තාක්ෂණයට අගතියක් නොවන ආකාරයේ නීති ගෙනා යුතුයි. ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව ජාතික කෘත්‍රිම බුද්ධි කමිටුවක් පසුගිය වසරේදී පත් කළා. ආචාර්ය රොමේෂ් රණවන මහතාගේ ප්‍රධානත්වයෙන් එය ආරම්භ කළා. ජාතික උපාය මාර්ගය ජනාධිපතිවරයාට පිළිගැන්වීම සඳහා සැලසුම් කර තිබෙනවා. 2020 අය වැයෙන් රුපියල් බිලියනයක මුදලක් කෘත්‍රිම බුද්ධි මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට වෙන් කර තිබෙනවා.

පළාත් කිහිපයක් තෝරාගෙන මධ්‍යස්ථාන කිහිපයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා. තාක්ෂණය සම්බන්ධයෙන් සාක්ෂරතාව ගොඩනැඟීමට ද අපි කටයුතු කරනවා. පාසල් 100ක් සඳහා කෘත්‍රිම බුද්ධි සමාජ ආරම්භ කළා. සෑම සතියකම එක් වැඩසටහනක් ඔවුන්ට ලබාදෙනවා. එමඟින් කෘත්‍රිම බුද්ධිය මූලිකව භාවිත කරන ආකාරයේ දැනුම ලබා දෙනවා. පසුගිය මාසයේදී මේ වැඩසටහන ආරම්භ කළා. කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් සිංගප්පූරුව සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට අපි පියවර ගෙන තිබෙනවා. කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් ලෝකයේ ඉහළින්ම සිටින රටක් ලෙස සිංගප්පූරුව හඳුන්වනවා.

සංවර්ධිත රටවල් පවා කෘත්‍රිම බුද්ධියේ ගැටලුවලට මුහුණ දීම සිදු වෙනවා. දත්ත ආරක්ෂණ අධිකාරිය අපි පිහිටුවා තිබෙනවා. ක්ෂේත්‍රයේ සිටින වෘත්තිකයන්ට වැටුප් ගැටලුවක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන තිබෙනවා. සයිබර් ආරක්ෂණ පනත තුළින් නීති ගොඩනඟාගත හැකියි. සියලු ජනතාවගේ දත්ත ආරක්ෂා කළ යුතුයි. භාණ්ඩ වෙළෙඳාමේදී පාරිභෝගිකයාගේ දත්ත ටික කඩවලින් පවා ලබා ගන්නවා. ඒ දත්ත ආරක්ෂා කළ යුතුයි. ඒ සඳහා තමයි දත්ත ආරක්ෂණ අධිකාරිය පිහිටුවීම සිදු කළේ. රටේ සංස්කෘතිය, ආගම යනාදිය සම්බන්ධයෙන් ගැටලුවලට මුහුණ දීමට සිදු විය හැකි බවට සාකච්ඡාවක් පවතිනවා. එවැනි අවස්ථාවලදී කෘත්‍රිම බුද්ධිය මඟින්ම එය හඳුනාගත හැකියි. මෙම තාක්ෂණය මඟින් ආගමික නායකයෙක් හෝ ඕනෑම පුද්ගලයෙක් ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන්. ඉදිරි ජනාධිපතිවරණයේදී දේශපාලන ප්‍රතිරූප පවා නිර්මාණය කරන්නත් කෘත්‍රිම බුද්ධියෙන් පුළුවන්. එම නිසා ඉදිරි මැතිවරණවලදී එය අභියෝගයක් විය හැකියි. කෘත්‍රිම බුද්ධි කමිටුව මඟින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාවට නැංවීමට අපි පියවර ගන්නවා. ජාතික ආරක්ෂාව, රාජ්‍ය වෙබ් අඩවි ආරක්ෂා කිරීම යනාදී කාරණා ඉටු කර ගැනීමට සැලසුම් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *